Description
බොහීමියන් දැරියෝ – Bohemian Deriyo
Shamel Jayakody – ශමෙල් ජයකොඩි
නිවෙස්වලට නොකියා ගිය ගමන මනුෂ්‍යත්වය වෙනුවෙන් තබන යෝධ පිම්මක ආරම්භයක් සේ පෙනුණු මුත් සිරගෙයි එළිමහන් මිදුල පසු කරන විට ඒ සිතිවිල්ල මැරුණු පරෙයියකු තරම්වත් වටිනාකමක් තමන් තුළ ඉතිරි කර නැතැයි ඔවුන්ට දැනිණි. දැරියන්ගේ නිවෙස්වලින් ගෙනා ඇඳුම්, දත් බුරුසු, පෑන්, කඩදාසි එකින් එක පරීක්ෂාවට ලක් විය. අනූජා උස් බිත්තියේ ඉහළ මකුළුදැල් පිරුණු කුඩා කවුළු හොඳින් නිරීක්ෂණය කළාය. නාලිනී ඇය අතේ වූ ශොපිං මල්ල කොට්ටය යට තබා කිළිටි සිමෙන්ති පොළොවේ බිම හිඳගත්තාය. වැහි දිය කාන්දු වන, පාසි බැඳුණු සිවිලිම දෙස බලාන ගීතිකා අවනඩු කීවාය: “මිනිහෙක් මැරුණම මිනී පෙට්ටිය වළ දාන්නත් වර්ග අඩි දොළහක් ඕනෑ. හරියට ඉන්න ගානෙන් බෙදුවොත් ඊට වඩා අඩු ඉඩක් මෙතැන එක මනුස්සයෙක්ට තියෙන්නෙ.” ඔවුන් රැඳවිනියන් හා වෙන වෙනම කුටිවලට ගාල් කර තිබිණි. සිරකුටියේ තමාට හිමි සිමෙන්ති කණුව මතක තබාගත් ඔවුහු එදිනෙදා ක්‍රියාකාරකම් හැඳිනගනිමින් ශබ්දවලට සිය දෙසවන් හුරු කරගත්හ. ස්ත්‍රීන්ගේ අමිහිරි කෑගැසීම්, සෙරෙප්පු හඬ, ජේලර්වරියගේ අඩි ශබ්ද, යතුරු සැලෙන හඬ, නියෝග හා ගර්ජනා… ටික දිනකින් ඒවා එකම ගීතයක් බවට හැරිණි.
සිරමැදිරියේ නිඳන ගැහැනුන්ට මෙන් නොව, ඔවුන්ගේ පිබිදුණු යොවුන් වියට එහි ජීවිතය පහසු නැති බව දැරියෝ පළමු සතියේම තේරුම් ගත්හ. උදෑසනින්ම මුහුණ සේදීමට පෝලිමේ ඉන්නා අතර කතාබහට ඉඩක් ලැබිණි. වැසිකිලියට යාමට, දිය නෑමට ලැබුණු වේලාව හැරුණු විට උදේටද, සවසටද ව්‍යායාමය පිණිස පිටතට ගෙනියන විට එකිනෙකා මුණගැසෙන මොහොත දවසේ ප්‍රියතම හෝරාව බවට පත් විය.
“මට ඕනෑ ඉක්මනින් මෙතැනින් යන්න…”
ජීවිතය විකාරයක් කරගත්තේ තමාගේම මෝඩකම් නිසායැයි කියමින් නාලිනී නාහෙන් ඇඬුවාය.
“කොහොම හරි නඩු දවස එනකම් ඉවසන්න නාලිනී… අපට වෙන කරන්න දෙයක් නෑ. තාත්තා අපට ලෝයර් කෙනෙක් හොයලා තියෙන්නෙ.”
“මොනව උනත් ඒ දවස එනකම් අපට අපි තුන්දෙනා ඉන්නවා. ඒ මදිද?”
“මට නම් හිතෙන්නෙම අපේ නඩුවට කතා කරන්න කලින් එළියෙ වෙනසක් වෙයි. මිනිස්සු ආණ්ඩුව එක්ක තරහෙන් එක එක දේ කරන්න බලාගෙන ඉන්නෙ






There are no reviews yet.